ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය විසින් ගෞරව සාහිත්‍යසූරී ආචාර්ය උපාධියකින් (D.Lit.) පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාරයන් වෙත පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ (IAHS) උණුසුම් සුබපැතුම් පිරිනමමු. ශාස්ත්‍රීය පර්යේෂණ, උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල පරිපාලනය සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් එතුමා දිගු කලක් පුරා ඉටු කළ සේවයත්, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජල කළමනාකරණ පද්ධති පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට ලබා දුන් දායකත්වයත් උපාධියෙන් ඇගයීමට පාත්‍ර වේ.

දශක ගණනාවක් පුරා විහිදුණු සිය වෘත්තීය ජීවිතය තුළ මහාචාර්ය මද්දුම බණ්ඩාරයන් මිනිසා, භූමිය සහ ජලය අතර පවතින සමීප සබඳතා අධ්‍යයනයට බදුන් කර ඇත. එතුමාගේ පර්යේෂණ මඟින් පාරිසරික භූගෝල විද්‍යාව, කෘෂිකාර්මික සංවර්ධනය, සාම්ප්‍රදායික දැනුම සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර සම්බන්ධතා විමසා බැලේ. ඓතිහාසික භූදර්ශනවල භෞතික ලක්ෂණ මෙන්ම ඒවා හැඩගැස්වූ ජනතාවගේ දැනුම හා භාවිතයන් ද ඇසුරින් එම භූදර්ශන අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන බැවින්, මෙම දායකත්වය පුරාවිද්‍යා හා උරුම ක්ෂේත්‍රවල නිරත පිරිස් සඳහා විශේෂයෙන් වැදගත් වේ.

එතුමාගේ වඩාත් බලපෑම් සහගත දායකත්වයන් අතර ‘වාරි-එල්ලංගා පද්ධති සංකල්පය’ (Tank Cascade Systems) වර්ධනය කිරීමෙහිලා ඉටු කළ පුරෝගාමී කාර්යභාරය ප්‍රමුඛ වේ. එකම භූදර්ශනයක් තුළ පිහිටි ග්‍රාමීය වැව්, එකිනෙකට සම්බන්ධ වූ පද්ධතියක කොටස් ලෙස අවබෝධ කර ගැනීමට මෙම සංකල්පය පදනමක් සපයයි. තනි වැවක් හෝ වාරි ව්‍යුහයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් ඔබ්බට ගොස්, ජල පෝෂක ප්‍රදේශ, භූමි භාවිතය සහ ජනාවාස සමඟ වාරිමාර්ග අධ්‍යයනය කිරීමට එය අප යොමු කර ඇත. පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සඳහා මෙම කාර්යයේ වැදගත්කම ජල කළමනාකරණයට පමණක් සීමා නොවේ. ප්‍රජාවන් සහ ඔවුන්ගේ පරිසරය අතර පැවති පුළුල් සබඳතා තුළ පැරණි වාරි පද්ධති ස්ථානගත කර අවබෝධ කර ගැනීමට ද එය උපකාරී වේ. ඓතිහාසික කෘෂිකාර්මික භූදර්ශන ක්‍රියාත්මක වූ ආකාරය සහ වර්තමානයේ ඒවා කළමනාකරණය කළ හැකි ආකාරය පිළිබඳව සලකා බැලීමේ දී සාම්ප්‍රදායික දැනුමේ වටිනාකම ද එමඟින් අවධාරණය කෙරේ. මේ අනුව, ශ්‍රී ලංකාවේ අතීතය අධ්‍යයනය කිරීමත් එහි පාරිසරික අනාගතය පිළිබඳ සාකච්ඡාවත් අතර වැදගත් සම්බන්ධයක් එතුමාගේ ශාස්ත්‍රීය කාර්යය මඟින් ගොඩනැඟේ.

සම්මානිත මහාචාර්ය මද්දුම බණ්ඩාරයන්ගේ පර්යේෂණ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය, වෙරළ කලාප සැලසුම්කරණය, ඉඩම් ප්‍රතිපත්ති, භූගත ජල භාවිතය සහ සංස්කෘතිය හා පරිසරය අතර සබඳතාව වැනි විෂයයන් ආවරණය කරයි. 1970 දශකයේදී කෘෂි ළිං සංවර්ධනය ප්‍රවර්ධනය කළ එතුමා, ජල සම්පත් ප්‍රායෝගිකව භාවිත කිරීම පිළිබඳ පර්යේෂණ සඳහා ද දායක විය. ශ්‍රී ලංකාවේ පළමු වැනි ‘ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම’ සැකසීමෙහිලා ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින්, පර්යේෂණ දැනුම ජාතික පාරිසරික සැලසුම්කරණයට යොදා ගැනීමට දායක විය.

ගංගා ද්‍රෝණි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පළාත් මායිම් නැවත සලකා බැලිය යුතු බවට එතුමා ඉදිරිපත් කළ යෝජනාව, ස්වාභාවික පද්ධති සහ රාජ්‍ය පරිපාලනය අතර සම්බන්ධය පිළිබඳව එතුමා දැක්වූ උනන්දුව පිළිබිඹු කරයි. මෙම සාකච්ඡාවේ කේන්ද්‍රයට ගංගා ද්‍රෝණි ගෙන ඒමෙන්, පොදුවේ භාවිත වන භූමි හා ජල සම්පත් කළමනාකරණයේ අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන අයුරින් පරිපාලන ව්‍යුහ සකස් කළ හැකි ආකාරය පිළිබඳව සලකා බැලීමට එතුමා පෙලඹවීය.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා, අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ සම්මානිත මහාචාර්ය මද්දුම බණ්ඩාරයන්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දී සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කළේය. එහිදී භූමිය හා ජලය අතර අන්තර්ක්‍රියා පිළිබඳ විශේෂීකරණය කළ එතුමා 1971 වසරේ දී දර්ශනසූරි උපාධිය (PhD) ලබා ගත්තේය. අනුරාධපුරයේ ඓතිහාසික භූදර්ශනයෙන් ඇරඹුණු එතුමාගේ අධ්‍යාපන ගමන ජාත්‍යන්තර පර්යේෂණ අවකාශයක් දක්වා පැතිරුණු අතර, පසුකාලීන ශාස්ත්‍රීය කටයුතු තුළ ද ශ්‍රී ලංකාවේ පාරිසරික හා සංවර්ධන ගැටලු සමඟ සමීප බැඳීමක් පවත්වා ගත්තේය.

1960 දශකයේ මැද භාගයේ දී කොළඹ දී සිය වෘත්තීය ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කළ එතුමා, දර්ශනසූරි උපාධි අධ්‍යයනයෙන් පසු නැවත පේරාදෙණියට පැමිණ වසර හතළිහකට වැඩි කාලයක් සේවය කළේය. එම දිගු සේවා කාලය තුළ ඉගැන්වීම හා පර්යේෂණ සඳහා දායක වූ එතුමා, භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ අතර, කුසලතා පදනම මත මහාචාර්ය ධුරයට පත් විය.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් එතුමා ඉටු කළ සේවයට වැදගත් පරිපාලන වගකීම් ද ඇතුළත් විය. 1994 සිට 1997 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක නායකත්ව වගකීම එතුමා දැරීය. මේ අනුව, පර්යේෂකයකු හා ගුරුවරයකු ලෙස ඉටු කළ කාර්යය සමඟ ආයතනික පරිපාලනයේ සහ ශාස්ත්‍රීය නායකත්වයේ වගකීම් ද එතුමාගේ වෘත්තීය ජීවිතය තුළ එක් විය.

සම්මානිත මහාචාර්ය මද්දුම බණ්ඩාරයන් විශ්වවිද්‍යාලයෙන් බැහැරව ද වැදගත් ජාතික තනතුරු රැසක් හෙබවීය. 1985 සිට 1989 දක්වා ජනාධිපති ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසත්, 2004 වසරේ දී ජාතික ජල සම්පත් අධිකාරියේ සභාපතිවරයා රට වෙනුවෙන් දැක් වූ දායකත්වය විශේෂයෙන් දැක්විය යුතු වේ. ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය මණ්ඩලයේ සභාපතිවරයා සහ ජාතික පරිසර සභාවේ සභාපතිවරයා ලෙස ද එතුමා කටයුතු කළේය. මෙම වගකීම් හරහා ඉඩම්, ජල සම්පත්, අධ්‍යාපනය සහ පාරිසරික කළමනාකරණය පිළිබඳ ජාතික මට්ටමේ සාකච්ඡා හා තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට එතුමාගේ විශේෂඥ දැනුම දායක විය.

පර්යේෂණ සිදු කිරීම මෙන්ම ජාතික සේවය ඒ්කාබද්ධව පැවතීම එතුමාගේ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. එතුමාගේ කාර්යය ශාස්ත්‍රීය විවාදවලින් ඔබ්බට ගොස්, ස්වාභාවික සම්පත් කළමනාකරණයේ සහ ජාතික ආයතනවල කාර්යභාරයට සහාය වීමේ ප්‍රායෝගික අභියෝග ආමන්ත්‍රණය කළේය. උසස් අධ්‍යාපනය මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රය ද ආවරණය කළ එතුමාගේ සේවයේ පුළුල් පරාසය මෙම පරිපාලන තනතුරු මඟින් පැහැදිලි වේ.

සම්මානිත මහාචාර්ය මද්දුම බණ්ඩාරයන්ගේ ජාත්‍යන්තර අත්දැකීම් අතර නයිජීරියාවේ ඉලොරින් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, ටෝකියෝ විශ්වවිද්‍යාලය, සුකුබා විශ්වවිද්‍යාලය, එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය සහ ආරාධිත මහාචාර්යවරයකු ලෙස සේවය කළ කියෝතෝ විශ්වවිද්‍යාලය යන ආයතනවල ශාස්ත්‍රීය කටයුතු ඇතුළත් වේ. එංගලන්තය, ජපානය, ජර්මනිය, ස්වීඩනය, ඉන්දියාව සහ නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක විද්වතුන් සමඟ ද එතුමා සහයෝගයෙන් කටයුතු කළේය. ලෝක බැංකුව, USAID, NORAD, GTZ සහ ස්වභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ ද එතුමා කටයුතු කර ඇත.

පර්යේෂණ පත්‍රිකා හා ප්‍රකාශන සියයකට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති එතුමා, ජාතික හා ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් ලබා දී ඇත. දේශීය අත්දැකීම්, සංස්කෘතික භාවිතයන් සහ සාම්ප්‍රදායික දැනුමේ වැදගත්කම පිළිගනිමින්, පාරිසරික ගැටලු කෙරෙහි අඛණ්ඩව යොමු කළ අවධානය එතුමාගේ ප්‍රකාශන තුළින් පිළිබිඹු වේ.

මීට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධි මඟින් එතුමාගේ සේවය ඇගයීමට ලක්කර ඇත. ජල ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ගෝලීය ජල හවුල්කාරිත්වයේ ශ්‍රී ලාංකික පාර්ශ්වය වන ‘ලංකා ජලනි’ වෙතින් කුසලතා සම්මානයක් ද එතුමාට හිමි විය. 2026 වසරේදී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වෙතින් විශිෂ්ටතා සම්මානයක් ද, 2025 වසරේදී දේශීය වෛද්‍ය වෘත්තිකයන් වෙතින් ‘හෙළ අභිමාන්‍ය ගෞරව සම්මානය’ ද එතුමා ලැබීය. එතුමා ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ සහ ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමයේ අධිසාමාජිකයෙකි.

ශ්‍රී ලංකාවේ වාරි උරුමය සහ සංස්කෘතික භූදර්ශන පිළිබඳ අවබෝධය පුළුල් කළ විද්වතකුගේ මෙහෙවර අගය කිරීමට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ අපට මෙම අවස්ථාව විශේෂයෙන් වැදගත් වේ. ජල පද්ධති, කෘෂිකාර්මික භාවිතයන් සහ පාරිසරික දැනුම, අතීතය පිළිබඳ පුළුල් අධ්‍යයනය තුළ සලකා බැලීමට එතුමාගේ පර්යේෂණ අප දිරිමත් කරයි. සාම්ප්‍රදායික භූදර්ශන තුළ සුරක්ෂිත වී ඇති දැනුම, වර්තමාන සංරක්ෂණ හා සම්පත් කළමනාකරණ ගැටලු සඳහා ද අදාළ වන බව එමඟින් අපට සිහිපත් කෙරේ.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් හිමි වූ මෙම විශේෂ ගෞරවය වෙනුවෙන් සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාරයන් වෙත පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමු. දශක ගණනාවක් පුරා එතුමා ඉටු කළ ශාස්ත්‍රීය මෙහෙවර, පරිපාලන නායකත්වය සහ ජාතික සේවය කෘතවේදීව අගය කරන අතර, නිදුක් නිරෝගී සුවයත්, සිය ශාස්ත්‍රීය හා මහජන සේවා කටයුතු තවදුරටත් සාර්ථකව කරගෙන යාමට ශක්තියත් ප්‍රාර්ථනා කරමු.